Tuesday, March 14, 2017

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය

දැනුම යනු සජීවි දෙයකි. මේ සජීවී දැනුම පරපුරකින් තවත් පරපුරකට සාර්ථකව සංක්‍රමණය කරගැනීමේ ක්‍රමවේදය “අධ්‍යාපනපනය” යි.
අධ්‍යාපනය යන වචනය මම භාවිතා කරන්නේ ඒ අර්ථයෙනි. මෙම දැනුම් පද්ධතිය ඉගනගෙන භාවිතා කරන මානවයෝ ද සජීවි වෙති. ඔවුන් එකිනෙකාගෙන් ආකල්පයන්ගෙන් ද බුද්ධියෙන් ද පරිකල්පන ශක්තියෙන් ද සම්පූර්ණයෙන් වෙනස්ම වූ අය වෙති. එවන් පිරිසකට සජීවී දැනුම වැඩි ඵලදායි තාවයකින් ඉදිරි පරපුරට ගෙන යෑම තමා වඩාත් සාර්ථකම අධ්‍යාපනපනය ක්‍රමවේදයකින් සිදුවිය යුත්තේ. අධ්‍යාපන ක්‍රමවේදය සකස් විය යුතු යැයි මා සිතනා කරුණු කිහපයක් ගැන මේ ලිපියේ ඉදිරියට සාකච්චාවට ගැනෙනු ඇත.
අදහස් හුවමාරු කර ගැනීමේ පහසුවට මම දැනට අපි භාවිතා කරන පාසැල් අධ්‍යාපන වසර ක්‍රමය සහ පෙර පාසල් ක්‍රමය උදාහරණයට ගන්නවා. ඒ ඒ ක්‍රමයන් වයස් කාන්ඩ තුල දැනට පවතින දුර්වලතා සහ ඒවා වෙනුවට යෝජනා කරන නව වැඩ පිලිවෙල ගැන ද පිලිවෙලින් සඳහන් කරමි.

පෙර පාසල් අධ්‍යාපනය

වයස අවුරුදු (3/)4/5 කාලයේ දී බොහෝ දරුවන් පළමුව විදිමත් අධ්‍යාපනයකට යොමුවීම ආරම්භ කරන්නේ පෙර පාසල් හරහා ය. ශ්‍රී ලංකාව තුල පෙර පාසල් අධ්‍යාපනය ලැබිය යුතුමය කියා නියමක් නැති වුවත් බොහෝ දෙමා පියන් තම දරුවන් පෙරපාසලකට ඇතුලත් කර ගැනීමට උනන්දුවක් දක්වයි. එසේම ශ්‍රී ලංකාව තුල පෙරපාසලක තත්වය ගැන රජය මගින් නියාමනය කරන නීති පද්ධතියක් ඇතත් එය සජීවීව පාලනය වෙනවා ද යන්න තවත් ගැටළුවකි. එය පසකින් තබමු. පෙර පාසල් කාලය තුලදී දරුවන් තුල පෞරුෂය වර්ධනය කිරීමට මුල් තැන ලබා දිය යුතු ය. මනෝ විද්‍යාත්මක අධ්‍යයනයන් අනුව වුව ද දරුවා තමා ගැන තක්සේරුවක් කිරීම ආරම්භ කරන්නේ මේ කාලය තුල ය. මෙහිදී දරුවා තුල තමාට කළ හැකි ය, තමා දක්ෂය යන හැඟීම ජනිත කළ යුතු ආකාරයට පෙර පාසල් ක්‍රියාකාරකම් සංවිධානය කළ යුතු ය. මෙය දරුවාගේ මුළු ජීවිතයටම වැදගත්ම වූ අංශයකි. දරුවන් බොහොමයක් තුල දැනට ජනිත කරන්නේ තරඟ කාරීත්වයි. ඒ තරඟ කාරීත්වය තුලින් කුහකත්වය හීන මානය සහ අතිමානය වගේ හැඟිම් දරුවන් තුල ජනිත කරයි. අධ්‍යාපනයේ ආරම්භක අවදියේම අනාගතයේ බිහිවෙන්නට සිටිනා ශ්‍රේෂ්ඨ මිනිසුන් අපේ මෙසේ තව දුරටත් මරා දමමු ද?
සෞන්දර්‍ය, කතාන්දර කවි ගී ගායන ය, කන්ඩායම් ක්‍රියා කාරකම්, දෑත හුරු කිරීම(පැන්සල , කතුර,…) ආදිය දැනට ද සිදුවන ඉදිරියට ද කරගෙන යා යුතු ක්‍රියාකාරකම් ය. දැනට පෙර පාසල් අධ්‍යාපනය තුල දී ප්‍රායෝගිකව මා දකින එක් දුරුවල කමක් වන්නේ පෙර පාසල් දරුවන්ට අකුරු ලිවීමට හුරු කරවීම යි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුල පෙර පාසල් දරුවන්ට අකුරු ලිවීමේ හැකියාව ඇති අය බිහිකරනවා කියලා සලකන්නේ නැත. යම් ලෙසකින් පෙරපාසල් දරුවන්ට (අවු. 6 ට අඩු) අකුරු ලිවීම කියවීම සිදු කළ යුතු යැයි විද්වතුන් විශ්වාස කරන්නේ නම් ඒ සඳහා නිවැරදි ක්‍රම වේදයක් පාසැල් අධ්‍යාපනයට ද සමගාමීව ඇතුලත් කළ යුතු ය. ලංකාවේ සමහර පෙර පාසලක සිංහල අකුරු ලියන්න උගන්වයි. තවත් පෙර පාසලක ඉලක්කම් පමණක් උගන්වයි. තවත් පෙර පාසලක සිංහළ සහ ඉංග්‍රීසි භාෂා දෙකම උගන්වයි. නමුත් එක වසර නිර්දේශය සකස් කර ඇත්තේ පංතියට ඇතුලත් වන සිසුවා අකුරු ලිවීමට නොදැන සිටී යන උපකල්පනය තුල ය. තමා දැනටම ලිවීමට දන්නා අකුරු 1 වසරේ ගුරුතුමා/ගුරුතුමිය නැවත කියා දෙන විට මේ ගැන දරුවා මානසික අර්බුදයකට පැන නැගිය හැක. අනෙක් අතට පාසල් අධ්‍යාපනය තුලදී ගුරුවරයා තමා දන්නා දේම කියනා අලුත් දෙයක් නොදන්නා පුද්ගලයෙක් යන හැඟීම දරුවා තුල ඇති කිරීමටත් හේතුවක් විය හැක.
පෙර පාසල් අධ්‍යාපනය තුල දී දරුවාගේ පෞරුෂත්වය වර්ධනය කිරීම සඳහා කතාන්දර, ක්‍රියා කාරකම් ආදිය සිදු කළ හැකි ය. පුදගලිකව පාසලේ අනෙක් දරුවන්ට වඩා කුඩා ශරීරයකින් යුතු මා ගැන තිබූ හීන මානය දුරු කිරීමට හීන් සැරය මට උදව්වුනි. දරුවන්ට කියා දෙන කතාන්දර ඔවුනගේ අනාගතයට ගැඹුරින් බලපෑම් සිදු කරයි. ගුරුවරුන් සහ අධ්‍යාපන නිර්දේශ සකස් කරන අය ගැන මේ කරුණ ගැන සුළු කොට නොතැකිය යුතු ය.

ප්‍රාථමික අධ්‍යාපනය

1 වසරේ සිට 5 වසර දක්වා ප්‍රථමික අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම වාගේ වෙනස් විය යුතු ය. 1 සහ 2 වසර ලිවීම, කියවීම සඳහා ද සමාජ ආචාර ධර්ම හුර කරවීමට ද මූලිකත්වය දිය යුතු ය. දැනට පවතින ක්‍රමය තුල දරුවා තරඟයකට යොමු කිරීම හැර අනෙකක් සිදු නොවේ. 5 ශිෂත්වය ද සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු පිලි දරුවාගේ නිරමාණශිලීත්වය, තර්කනය, ස්වාධීනත්වය ගොඩනගා ගන්නා කාලය තුල තරඟ විභාගයන්ට යොමු කිරීම ම අපරාදයකි. පාසල් පද්ධතිය සම මිතිකව පවත්වන්නේ නම් පාසල් අතර අධ්‍යාපන මට්ටම සමාන මට්ටමකට ලබා ගනී නම්, උසස් පාසල් හෝ පහත් පසල් කියා වෙනසක් නැති නම් ශිෂත්ව විභාගයක් ද අපට අනවශ්‍යය.
මා මුලින් සඳහන් කළාක් මෙන් දරුවන් විවිද යි. හැකියාවන් විවිද යි. සමහර විට දරුවන් තුල ඇති හැකියාවන් මතු වන්නේ කලක් ගොසිනි. අධ්‍යාපන රැල්ලට ගසාගෙන ගොස් එක තැනක නැවතී නැවතත් ආපසු හැරී තමා ගේ ජීවිතය මුල සිට සොයන වැඩි හිටියන් අද අප අතර බහුලය. එයට වග කිව යුතු වන්නේ මේ නිසි හැකියාව සංවර්ධනය කිරීමට ඉවහල් නොවන තරඟ කාරී අධ්‍යාපන රටාවයි. තරඟය නරක යැයි නොකියමි. නමුත් ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය තමා තරඟ කිරීමට වඩා දක්ෂම ඉසව්ව ගැන දරුවාටම තේරුම් ගැනීමට උදව් කරන අවදියක් මිස තරඟයට සුදුසු අවදියක් නොවෙයි.
“අඩුම තරමේ වාර විභාගයක් නොමැතිව දරුවන්ට කෙසේ නම් ඇගයීමට ලක් කරන්නේ ද?” මෙලෙස ඔබට සමහර විට සිතුනා වන්නට පුළුවන. ලොකුම ගැටළුව විවිද හැකියාවන් සඟවාගෙන සිටිනා දරුවන් රාශියකට එක වර ඉගැන්වීම් කාර්‍ය සිදු කිරීමයි. මේ ක්‍රමය මගින් උපරිම ප්‍රයෝජන ගත නොහැකි බව නැවත නැවතත් ඉතිහාසය තුල අප අත් දැක ඇති දෙයකි. වර්ථමාන අධ්‍යාපන ක්‍රමය මාලුවන්ට ගස් නගින්නට උගන්වන ක්‍රමයක් බව ඇතැමුන් ප්‍රකාශ කරන්නේ මේ හේතුවෙනි. මේ පින්ලන්තය විසින් වඩා සාර්ථක ක්‍රමයක් අත්හදා බලා ඇත. ඒ දරුවන්ට ප්‍රයෝගික ක්‍රමයට දැනුම ලබා දීමයි. මේ ක්‍රමයේ දී ගණිතය පරිසරය විද්‍යාව ආදී ලෙස විශයන් වෙන් කිරීමක් සිදු නොකරයි. එහෙත් ඉගැනුම් පරිසරය තුල දරුවා ඒ ඒ විශයන් ස්වයන් ක්‍රීයම ඉගන ගනී. ඔවුන් ගණිත මූල ධර්ම ඉගන ගන්නේ තමා ගණිතය ඉගන ගන්නා බවවත් නොදැනයි. අපහැදිලියි වගේ ද? උදාහරණයක් අරන් බලමු, ගුරුවරයා Benjamin Franklin ගැන ඉතිහාස කතාවක් දරුවාට කියා දෙයි. ඔහු සිටි කාලය ගැන, ඒ කාලයේ දේශපාලන වාතාවරණය ගැන දරුවන්ට කියා දෙයි. ඒ අතරම ඔහු කරන ලද පරීක්ෂණ ගැනත් ඔහු විසින් නිර්මාණය කරන ලද ජල තරංග සංගීත භාන්ඩය ගැනත් කියා දෙයි. මේ කතාව තුල ඉතිහාසය ද විද්‍යාව ද තරමක් දුරට සංගීතය ද ඇතුලත් වෙයි. තවත් උදාහරණයක් ගමු, දරුවෙකුට අවන්හලක ක්‍රියා පටිපාටය ගැන දරුවන් දැනුවත් කරයි. සමහර විටක අවන් හලකට දරුවන් රැගෙන යයි. මෙහිදී සේවකයන් ගණුදෙනු කරුවන් සමග කතා බහ කිරීම ආචාර ශීලීත්වය වැනි දේවල් ගැන අවබෝධයක් දරුවා ලබා ගනී. අවන්හලේ මුදල් අය කැමිට මුදල් ලැබෙන සැටිත් ඔහු ඒවා පරිගණක ගත කරන සැටිත් ඒම දත්ත මගින් වසර අවසානයේ රජයට බදු ගෙවන සැටිත් දරුවා ඉගන ගනී. ඒ අතර සමහර විට මේ අවන්හලින් ණයට ගනු දෙනු සිදු කරන ආකාරය ගැන දරුවා ඉන ගනී. ණය ගෙවන සැටිද ඒවාට අදාල ගණිත කොටස් ඒ අතර ඔවුන් ඉගන ගනී.
මේ ක්‍රමය ඒ ඒ දරුවාගේ දක්ෂතාවය අනුව විවිද සිද්ධාන්ත සහ මූල ධර්ම දරුවා ඉගන ගනී. ඒ තුල ගණිතය. සන්නිවේදන හැකියාව. මෙන්ම සමාජයේ ජීවත් වීමේ අත් දැකීම් ද දරුවා ලබා ගනී. මේ ක්‍රමය ගැන වැඩි විස්තර මෙතනින් ඔබට බලා ගත හැක.

ද්විතීය අධ්‍යාපනය

කණිෂ්ඨ ද්විතීය අධ්‍යාපනය(6 වසරේ සිට 9 වසර දක්වා)

නැවතත් විශයන් ලෙස වෙන් කර ඉගැන්වීම කණිෂ්ඨ ද්විතීය අධ්‍යාපනය දී සිදු කිරීමට සිදුවෙයි. තරඟ විභාගයක් නොවුනත් මෙහි දී ඇගයීම් ක්‍රමවේදයක් අවශ්‍යය වෙයි. කණිෂ්ඨ ද්විතීය අධ්‍යාපනයේ දැනට පවතින ක්‍රමය තුල ලොකු අඩුපාඩුවක් මා දකින්නේ නැත. නමුත්, නව විශයන් හඳුන්වා දීම සිදු කළ යුතු ය. උදාහරණයකට තොරතුරු තාක්ෂණය විශයක් ලෙස තුලට ඇතුලත් කළ යුතු යැයි මා සිතන අතර පරිගණක ක්‍රමලේකන භාෂාවන් ගැන, පරිගණක ආරක්ෂාව, පරිගණක භාවිතයේ ආචාරධරම ආදීය විශය නිර්දේශයට අන්තර්ගතව තිබිය යුතු ය.

ජ්‍යෙෂ්ඨ ද්විතීය අධ්‍යාපනය(අ.පො.ස. සාමාන්‍ය පෙළ - 10 සහ 11 වසර)

දැනට පවතින ක්‍රමයෙන් වශේෂ වෙනස් කමක් සිදුවිය යුතු යැ යි නොසිතමි. කණිෂ්ඨ අංශයේ මෙන්ම මෙහි දී ද විශයන් යාවත් කාලීන වීම සිදුවිය යුතු ය. එසේම බහු-මාද්‍යය, අන්තර්ජාලය ආදිය ඉගැන්වීම් කටයුතු වලට සක්‍රීය භාවිතයට ගත යුතු ය.

ජ්‍යෙෂ්ඨ විද්‍යාල — High School (අ.පො.ස. උසස් පෙළ — 12 සහ 13 වසර)

උසස් පෙළ සඳහා ශ්‍රී ලංකාව තුල විශේෂ අවධානයක් සිදු කළ යුතු කාල පරිච්චේදයකි. විශ්ව විද්‍යාල සඳහා ඇතුලත් කර ගැනිමේ ප්‍රධානතම තරඟ විභාගයක් ලෙස ද උස්ස පෙළ හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුල අසමමිතික සම්පත් බෙදී යාමේ ගැටළුව නිසා වැඩිම අසාධාරනයක් ලක්වන්නේ උසස් පෙළ සිසුන්ටයි. විශ්ව විද්‍යාල පහසුකම් සීමාසහිත බැවින් සහ රජයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන ජනතාව තුල ඇති විශ්වාසය ද පිලිගැනීම ද හේතුව‍ෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට ඇති ප්‍රධානතම කඩයිම වශයෙන් උසස් පෙළට හිමිව ඇති වැදගත්කම හේතු කොටගෙනම අමතර පංති ආදිය රැල්ලක් සේ පැතිර යයි. පවතින ක්‍රමය තුල ශිෂයන්ට ද මේ රැල්ල තුලින්ම ගොඩ ඒම විනා වෙනත් මගක් නැත. රජය අතින් සම්පත් ලබා දීමේ අපොහසත් බව, කළමණාකරනයේ දුර්වලතාවය, සුදුසු කම් ලත් ගරුවරුන්ගේ හිඟ කම ආදී කරුණු ගණනාවක් මේවාට හේතු වී ඇත. එසේම මේ තත්වය තුල ශිෂයන්ට සිදුවන අසාධාරනය වැලැක්වීමට z-score ලකුණු සඳහා දිස්ත්‍රික් පදනමක් එකතු කර ඇත. මෙසේ සිදු කිරීමට ප්‍රධානතම හේතුව සම්පත් නිසි ලෙස නොබෙඳිම නිසා අසාධාරනයට ලක්වන සිසුන්ට සාධාරනයක් කිරීම යි. එය එසේ වුවද සම්පත් බෙදීයාම දිස්ත්‍රික් මට්ටමින් ගැනීම එක් ප්‍රශ්නයක් විසඳිම සඳහා තවත් පිරිසකගේ අයිතිවාසිකම් පාවාදෙන අසාර්ථක ක්‍රමයකි.
දැනට පාසැල් පද්ධතිය තුලින් උසස් පෙළ ඉවත්කර උසස් පෙළ සඳහා පහසුකම් සහිත විශේෂ ජ්‍යේෂ්ඨ විද්‍යාල (High School) ශ්‍රී ලංකාව පුරා ඇති කිරීමට යෝජනා කරමි. මේ ජ්‍යේෂ්ඨ විද්‍යාල වැඩි ශිෂ්‍යය පිරිසකට එකවර අධ්‍යාපනය ලබා ගැනීමේ පහසුකම් සලසා දිය යුතු ය. එනම් දැනට පවතින පාසල් පද්ධතිය තුල 12 සහ 13 වසර ඉවත් කර ඒ සඳහා විශේෂ පාසල් පද්ධතියක් ඇති කිරීම යි. මෙය අමතර වියදමක් සහ අනවශ්‍ය කාරනයක් ලෙස ඔබට සිතීමට පුළුවන. නමුත් මෙය පාසල් කිහිපයකට පමණක් සීමාවී ඇති සම්පත් සඳහා සිසු දරුවන් වැඩි පිරිසකට භාවිතා ගැනීමට හැකි වීම පහසු කරන ආකාරයේ වැඩ පිළිවෙලකි. දැනට ශ්‍රී ලංකාව තුල උස්ස පෙළ විභාගය සඳහා වරකට පෙනී සිටින්නේ සිසුන් 300,000කට අඩු පිරිසකි. මෙම සිසු පිරිසට 2000 කන්ඩායම් ලෙස සිසු ඝණත්වයට අනුව ජ්‍යේෂ්ඨ පාසල් පිහිටුවා ඇතුලත් කරන්නේ නම් අපට අවශ්‍ය වන්නේ පාසල් 150ක් පමණි.
පාසැල් කාලය තුල දේශන වාරයකට සිසුන් 200ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් සහිත දේශන ශාලා සකස් කිරීම සිදු කළ යුතු ය. දැනට බොහෝ විට සිසු දරුවන් 80% ප්‍රතිශතය අවශ්‍ය බැවින් පාසලට පැමිණි යත් අධ්‍යාපනය ලබන්නේ එක වරකට සිසුන් 500/1000 හෝ ඊටත් වැඩියෙන් සිටිනා දේශන සාලවන් තුලිනි. වයසින් මුහුකුරා ගිය සිසුන් සඳහා තනි තනි වශයෙන් ගුරු අවධානය 100% අවශ්‍ය නැත. විශාල දේශන ශාලා තුල වැඩි සිසු පිරිසකට අධ්‍යාපනය ලබා දීම තුලින් වටිනා ගුරු සම්පත ද කළමණාකරනය පහසු වේ.
මෙම පාසල් සඳහා උසස් තත්වයේ ගුරුවරු අවශ්‍යය වන්නේ ද පාසල් ගණනට සමානුපාතිකව ඉතාමත් අවම වශයෙනි. සිංහළ ඉංග්‍රීසි සහ දෙමළ යන මාධ්‍යයන්ට වෙන් වෙන්ව ද එක් පංතියකට අවම සිසු ප්‍රමාණය ලෙස 100 ලෙස ද ගෙන, එක් ගුරු වරයෙකුට එක් වාරයක් තුල පංති 3ක් හෝ 4ක් සඳහා ඉගැන්වීම කළ හැකි බව ද සිහිතබා ගෙන ගුරු සම්පත කෙතරම් ඵදායී ලෙස මෙම ක්‍රමය තුල භාවිතා කළ හැකි දැයි ඔබම කල්පනා කර බලන්න.
දැනට පවතින විශය මාලාවන්ට අමතරව vocational training ආදිය ද මෙම විද්‍යාල තුලට ඇතුලත් කර යුතු ය. මේ මාර්ගයෙන් සමාන්‍යය පෙලින් අධ්‍යාපනය ලැබීම අත හැර වෙනත් මාර්ග වලිට අවතීර්ණ වීමට සිටින සිසුන්ගේ ශ්‍රමය ද රටට ඵලදායී ලෙස යොමු කර ගැනීමේ අවස්ථාව රටට හිමිවේ. තව දුරටත් දිස්ත්‍රික් මට්ටමින් උසස් පෙළට ඉදිරිපත් වන සිසු අනුපාතය සැලකිල්ලට ගෙන සමාන පහසුකම් සහිතව මෙම ජ්‍යේෂ්ඨ විද්‍යාල ඉදිකිරීම තුලින් විශ්ව විද්‍යාලයට ඇතුලත් වීම සඳහා දිස්ත්‍රික් පදනමක අවශ්‍යතාවය ද නැතිව යයි.
මේ ක්‍රමය තුල දී ප්‍රායෝගිකව ඇතිවන ලොකුම ගැටලුව සිසුන්ගේ නිවස සහ පාසල අතර පවතින දුරයි. පාසල් පිහිටවීමේ දී සිසු ඝණත්වය ගැන සැලකිය යුතු යැයි මා කලින් ලීවේ මේ කාරනාව නිසා ය. සමහර අවස්ථාවල දුෂ්කර ගම්මාන වල සිටිනා දරුවන්ට ද එකිනෙකට වඩාත දුරින් පිහිටි ගම්මාණයන් වෙනුවෙන් එක් ජ්‍යේෂ්ඨ පාසලක් පිහිටුවීම මූල්‍යමය වශයෙන් ද ප්‍රායෝගිකව ගත් කළ ද අපහසු කාර්‍යයකි. එවන් දරුවන්ට ජ්‍යේෂ්ඨ පාසල තුලම නැවතීමට පහසුකම් සැපයිය හැකි ය.

පරිපාලන ක්‍රමයේ සංශෝදන

සියළුම ප්‍රාථමික සහ ද්විතීක පාසැල් පරිපාලනය සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ පාලනයට ගත යුතු ය. පලාත් සභා මගින් පාසැල් පරිපාලනය විම පරිපාලනයේ දී අසාර්ථක ක්‍රමයක් බව නැවත නැවත ඉතිහාසය තුල පසක් වී ඇත. එසේම අධ්‍යාපනය සඳහා කරන වියදම් නිසි ලෙස කළමණාකරණය කිරීම සැලසුම් සකස් කිරීම අධ්‍යාපන අමාත්‍යංශ යටතේ ඇති විට වඩාත් පහසුය. මහජන මුදල් අපතේ යෑම අවම කරයි.
උසස් අධ්‍යාපන සහ අධ්‍යාපන අමාත්‍යංශ නිසි ලෙස සම්බන්ධි කරණය කළ යුතු ය. මේ ආයතන දෙකටම නිරේදේශ ලබා දෙන විද්වත් කන්ඩායමක් ඇති කළ යුතු ය. මේ විද්වත් කන්ඩායමේ රාජකාරිය වන්නේ අධ්‍යාපන ක්‍රමවේදයන් ගේ කාලීන බව සහ ඵලදායි තාවය ගැන නිරන්තර අධ්‍යයනයන් සිදු කරමින් අවශ්‍ය සංශෝදන අදාල අමාත්‍යංශයට නිර්දේශ කිරීමත් එම නිර්දේශ අදාල අධ්‍යාපන අමාත්‍යාංශයන් මගින් ක්‍රියාත්මක කිරන ආකාරය ගැන ඇගයීමත් ය.
ජාතික පාසැල්, නවෝද්‍යා පාසල්, මහා විද්‍යාල, මධ්‍ය මහා විද්‍යාල, ආදි විවිද වර්‍ග කරණයන් පාසල් පද්ධතිය තුලින් ඉවත් කළ යුතු ය. කාලයෙන් කාලයට එක් එක් ගැටළු වලට විසඳුම් ලෙස හෝ දේශපානික උපක්‍රම ලෙස මේවා ගෙන ආව ද එමගින් සිදු වන්නේ අධ්‍යාපනයට හිමි විය යුතු පරිපාලන ශ්‍රමය අනවශ්‍යය ලෙස අපතේ හැරීමක් පමණි. තව දුරටත් මෙවන් වර්ගී කරණයන් තුලින් ජනතාවගේ සිතට ව්‍යාජ සහනයක්, චන්දය අරමුණු කරගත් මිනිසුන් නොමග යවන වෙනසක් ලබා දීම හැර අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට කිසිදු බලපෑමක් ඇති නොකරයි.
අධ්‍යාපනයේ ප්‍රමුඛතම පිරිස අධ්‍යාපනය ලබන අයයි. දෙවනුව ප්‍රමුඛතම පිරිස වන්නේ අධ්‍යාපනය ලබා දෙන ගුරු වරුන්ය. ගරු වෘතිය වෙනුවෙන් ලැබෙන වැටුප සම මට්ටමේ සුදුසු කම් සහිත පිරිසට ලබා දෙන වැටුප හා ගැලපූවිට ඉතාමත් අවම එකකි. අධ්‍යාපනයට GDP එකෙන් 6%ක් නොව 10% ලබා දුන්න ද ගැටළුවක් නැත. නමුත් සියල්ලට ප්‍රථමයෙන් කළමණාකරනයේ දුර්වලතා අවම කරගත යුතු ය. ප්‍රමුඛතා හඳුනා ගත යුතු ය. පාසල් භූමි නිසි ලෙස සංවර්ධනය කර පාසල් භූමිය භාවිතා නොකරන කාලයන් තුල දී පාසල් මගින් රජය මුදල් ඉපයීමේ ක්‍රම ගැන සිතිය යුතු ය. උදාහරණයකට ඉහත සාකච්ඡා කළ අන්දමට ජේෂ්ඨ විද්‍යාල 150ක් රජය සතුනම් රජය විසින් අංග සම්පූර් ශ්‍රවනාගාර 150ක් ඉදිකර ඇත. අංග සම්පූර්ණ නාට්‍ය ශාලා 150ක් රට පුරා ඉදිකර ඇත. සති අග විශේෂ වැඩසටහන් සඳහා පාසැල් භූමිය ලබා දීම මගින් ද ආදායම් ඉපයිය හැක.
අවසාන වශයෙන් කීමට ඇත්තේ “අපට අධ්‍යාපනය දියණු කිරීමට නැත්තේ මුදල් නොවෙයි. අවශ්‍යයතාවයයි.”

No comments:

කූඹියෝ Season 2 Episode 1 (Fanfiction)

අංක 1 Crescat Mall (Open Area) මල්දෙනිය අගමැති වී වසර 1යි මස 8කට පසුව (inaudible,no background music)  හිරුණි මිතුරියක් සමග හිනැහෙම...