කෑලි කෑලි එකතු කරනකොට හැලෙන කෑලි වලට මොකද කරන්නේ?

එකිනෙක වෙන්ව, තැන තැන විසිරී ඇති සාධක එකතු කරලා මුලින් තිබුනා කියලා හිතන්න පුලුවන් දේ නැවතත් ගොඩ නගන්න කොච්චර අමාරුද? මෙහෙම අමාරුවෙන් එකතු හොයාගත්ත කෑලි එකතු කරලා බැලුවම පේන දේට අදාල නොවන කෑලි වලට මොකද කරනනේ? ගොඩක් වෙලාවට ගොඩක් දෙනා කරන්නේ ඒව දැක්කේ නෑ වගේ ඉන්න එක මොකද මෙච්චර අමාරවෙන් ගොඩන නගපු තර්කයට, උපකල්පනයට නැත්තම් ප්‍රවාදය විනාස කරගන්න බැරි නිසා. අද ඒ ගැන පොඩි සටහනක් ලියන්න හිතුවා.

මේ කියන දේ පැහැදිලි නැත්තන් ආයෙමත් මුලටම යමු. මං කිව්වේ මුලටම? මුලක් තියෙන්න පුළුවන්ද? හැම දේටම මුලක් තියෙන්න ඕන? ආරම්භයක් තියෙන්න කවුරු හරි ඒකට මුල පුරන්න ඕන? ඒ වගේම අවාසානයකුත් ඇති නේද? ඔන්න කෑලි එකතු කරන්න පටංගන්න හොඳ තැනක්. දැන් කට්ටියක් එහෙන් මෙහෙන් කෑලි ටිකක් එකතු කරගන්නවා. ඒ අය හිතන ආරම්භයක් ඇත්නම් අවසානයකුත් ඇති කියලා. ඒ වගේම ආර්ම්භ කරපු කෙනෙකුත් ඇති කියලා. තව කෙනෙක් ටිකක් වෙනස් විදියට කියනව නෑ එහෙම ආරම්භයක් නෑ මේව ඔක්කොම ඉබේටම වෙන්න ඇති. එයත් ඉතින් කෑලි එකතු කරනවා. අර කලින් හදාගත්ත ප්‍රවාදය ශක්තිමත් කරන්න. මෙහෙම කාලයක් කරගෙන යනකොට එකතු කරගත්ත කෑලි ටික දිහා බලල හිතනවා අනේ මම හරි. මම විශිෂ්ට සොයාගැනීමක් කරා. මේක තමයි නියම ඇත්ත කියලා. එතකොට තව කෙනෙක් එයා හොයාගත්ත ඇත්ත හරි ගස්සගන්න කෑලි එකතු කරනවා. ඔය අතර අර කලින් හදාගත්ත මොඩලයට ගැලපෙන්නේ නැති ඒව හිමින් හළලා දානව. සමහරු දැක්කේ නෑ වගේ ඉන්නවා, එහෙමත් නැත්තන් ඒව ඒ මොඩලයට අනුගත කරගන්න පොඩ්ඩක් තමංගේ ප්‍රවාදයට ගැලපෙන ලෙස වෙනස් කරල ඈඳා ගන්නව. මෙහෙම කෑලි කෑලි එකතු කරල හදාගත්ත දේ තවත් අයට කියලා දී මේ සත්‍ය තුල ඒ අය සතුටින් ජීවත් වෙනව. මෙයින් සමහරෙක් පශ්චාත් උපාධිධාරී විද්වතෙක් විය හැකි අතර තවකෙක් එක එක නම් කියාගන්නා ආගමික හෝ විවිධ මතවාදී කෙටස් වලට අයිති විය හැකියි. උගත් නූගත් භාවයේ බලපෑමකින් තොරව හැලෙන කෑලි නොදැක්කා වාගේ කවුරුත් හිරිකිතයකින් තොරවම සිටිති.

ඔය අතරේ තවත් කොටසක් හැලෙන කෑලි මොනව වුණත් හැදෙන රූපය තමංගේ වාසියට හරවගන්න බලාන ඉන්නව. ඒ ගැන මම මෙතන ලියන්න යන්නේනෑ. තාමත් මේ කියනදේ ගැන වැටහීමක් නැත්තන් තවත් උදාහරණ කිහිපයකට යමු. ඒ වගේම තම තමං මේ වෙනකොට කොච්චර දේවල් හලා ඇත්ද කියලා අවසානයේ හිතල බලමු.

සුගත් හා දමයන්ති

මේ උදාහරණය ඔබට සොයාගැනීමට අපහසු වෙන එකක් නෑ, බොහෝ දුරට ඔබ තුළින්ම එහෙමත් නැත්තන් මිතුරෙකුගෙන් මේ අත්දැකීම ඔබ ලබා ඇතිවාට සැක නැත. එක් තරුණයෙක් තරුණියක් කෙරෙහි ප්‍රේමයක් ඇතිවෙනව, මේ තරුණියට මේ තරුණයාගේ ආදරය විනෝදාස්වාදයක් ගෙන දෙන්නක් වෙනව. නමුත් ඇය ඔහුට ප්‍රේම කරන්නේ නෑ. මේ තරුණියට අවශය වෙනව මේ තරුණයා දිගටම තමා කෙරෙහි රඳවා ගන්නට. නමුත් තරුණයා තරුණිය කෙරෙහි ඇති ආදරය නිසා ඇය තමාට ඇත්තටම ආදරය කරනවා කියා සිතමින් කාලය ගත කරනව.

ඔබටත් මේ ආකාරයේ අත්දැකිමක් ලබා ඇතිනම් ඔබ දැක ඇති, මේ විට අර තරුණයා ක්‍රියා කරන්නේ කොයි ආකාරයටද කියා. ඇය කියන එකිනෙකට නොගැලපෙන බොරු පවා මේ තරුණයා සාධාරණය කරන කරගන්නවා. ඔහුගේ ළඟම මිතුරන් කියන කිසිම දෙයක් ඔහුට අදාල වේන්නේ නෑ, ඔහු පිළිගන්න ඇත්ත ඔහුට අවශ්‍ය කරුණු මත ඔහු ගොනු කරගත්ත ඒවායි.

පරිණාම වාදය ද ? මැවුම් වාදය ද? නැත්තන් වෙනමම මොකක් හරි ද?

cPlus සඟරාව සඳහා “මිනිසාගේ-සම්‌භවය-හා-පරිණාමය“ නමින් කුඩා ලිපියකින් මම මේ ගැන පොඩි සටහනක් ලිව්වත් සඟරාවක තිබිය යුතු ගුණාත්මක භාවය සලකා කතා කළ යුතුව තිබුණු නමුත් අතහරින ලද දේ බොහෝයි. කෙනෙක් ආගමික පසුබිමක් මත, හෝ විද්‍යාත්මකය යැයි පාසෙලන් හෝ විශ්ව විද්‍යාලයකින් ඉගනගන්නා ලද කරුණු වලට පිටින් යන්නට දක්වන්නේ දැඩි අකමැත්තක්. ඔබගේ ආගමික පසුබිම මත සමහර විට පරිණාම වාදය විශ්වාස කරන්නේ නැතිවෙන්නෙ පුළුවන්, ඊට එරෙහිව ඇති සාක්ෂි සාධක සියල්ල නොසලකා හරින්නේ වැඩි දුර හිතන්නටවත් උත්සාහ නොකරමිනි. අනෙක් අන්තය මේ විද්‍යාත්මක යැයි කියන ක්‍රමයේ මොඩලයට නොගැලපෙන සාක්ෂි සාධකද විද්‍යාඥ්ඥයන් විසින් නොදැක්කා සේ සිටිමද පුදුම සහගතය. ඉහත ලිපිය කියවීමේන් ඒ ගැන වැඩි විස්තර ඔබට දැන ගත හැකිවෙනු ඇත.


I WANT TO BELIEVE

කලකට ඉහත ඉතාමත් ජනප්‍රිය වුණු රූපවාහිනී වැඩසටහනක ටැග් ලයින් එකක්. පුද්ගලිකව දැඩිසේ ඇලුම් කරපු වැඩසටහනක්, මේ ටැග් ලයින් එක තුළ ඇති අර්ථය මේ ලිපියේ ප්‍රස්තුතයට ඉතාමත් හොඳින් ගැළපේයැයි සිතුණු බැවින් ඒ ගැනත් ඇතුළත් කරන්න අදහස් කළා. අපි සෑම විටම යමක් විශ්වාස කීරීමට කැමතිවේ. ඒ විශ්වාසය තහවුරු කරන්න, ඒතුළ ජීවත් වෙන්න අපි ඇලුම් කරනව. මේ නිසාම යට යන ඇසනොගැටන සත්‍ය ඉතා විශාලයි.

මේ කතාව තුළ, ඒ ඒ අයගේ පිළිගැනීම තුල ගොඩ නැගෙන සත්‍ය ගැන ඉතා හොඳින් පෙන්වා දෙනව. මුල් කොටස්වලදී මොල්ඩර් තම පිලිගැනීම අනුව බොහෝමයක් සිද්ධී අතීන්ද්‍රීය සිද්ධීන් ලෙස දකින්නට පෙළබෙද්දී ඒ හා සමානම අත්දැකීම් ලබන ස්කලි විසින් ඒවා සාමන්‍ය විද්‍යාත්මක සංසිද්ධීන් මගින් පැහැදිලි කරගනී. දෙදෙනාම එකම අත්දැකීම් ලබද්දී වෙනස් නිගමන වලට එළඹීම සඳහා හේතුවුන එකම හේතුව එකිනෙකා තමං විසින් කලින් ගොඩනගාත් ප්‍රතිරූපි සත්‍ය ශක්තිමත් කිරීමට පෙළඹීම නිසායි.

මේ සටහන පුරාවට මම උත්සාහ කළේ මේ අකාරයට අපි පිළිගන්නා අදහස් රටාවට හෝ යම් හේතුවක් නිසා අපට පිළිගැනීමට බල කරන ඇත්ත, සෑම විටම ඇත්ත නොවිය හැකි බව වටහා ගත යුතු බවයි. මේ කියන ආකාරයේ idealistic චරිත අප අතර නොමැති විය හැකියි. නමුත් වටහාගත යුත්තේ තමා තුළද මේ දුර්වලතාවය ඇති විය හැකි බව පමණි. එසේ වූ විට අපට තවත් කෙනෙකුගේ අදහසක්, අවවාදයක් හෝ මතයක් ගැන මැදිහත්ව සිතීමට උදව්වේවි.

Comments

Popular Posts