Sunday, August 7, 2011

සෙරෙප්පුව


මල්ලී තවමත් ඊයේ සෑදීමට ආරම්භ කළ සංගීත ඛණ්ඩය පරිගණකයෙන් නිර්මාණය අවසන් කරමින් සිටී. සංගීතය අවසන් කරනවාත් සමඟම අද දිනයේ තමාගේ වම් කකුල දණ හිස උඩින් කපා ඉවත් කිරීමේ ශෛල්‍ය කර්මය සඳහා රෝහල් ගතවිය යුතුව තිබූ බැවින් කඩිනමින් පිටත් වූයේ ය. පියා සමඟ මවත් ත්‍රීරෝද රථයෙන් ගමන් ගන්නා නිසා මා නිවසට වී සිටිය යුතුය යන්න කතා නොකරම සම්මතව තිබූ බැවින් පරිගණකයේ අසුන් ගත්තේ, ඔහුගේ සංගීත ඛණ්ඩය රසවීඳිමේ අරමුණද ඇතිව ය.

මල්ලීට මුලින්ම ගිටාරයක් අරන්දී දැනට අවුරුද්දක් පමණ වුණා. ඔහුට එය අරන් දීමට ප්‍රධානතම හේතුව වූයේ මට ගිටාර් වැයීමට තිබූ ආශාවට වුණත්, මට ගිටාර් ගහන්න ඕනෑය කියා ගිටාර් එකක් ගන්නවාට වඩා මල්ලීට ගිටාරයක් අරන් දෙනවා කියා ගීටරයක් මිලදී ගැනීම වඩා යෝග්‍ය බව මම තීරණය කළා. කෙසේවුවත් ඔහුට සංගීතයට ඉතා ඉහළ දක්ෂතාවයක් අති බව තේරුම් ගන්න සති කිහිපයකට වඩා අපට ගතවූයේ නැත. පාසලේ නවය වසරේදී බටහිර සංගීතයට ලකුණු 87ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා සිටීම නිසා ඔහුට බටහිර සංගීතය හැර වෙනත් විෂයක් තෝරගන්නා ලෙස ගුරුවරිය බලකළ බැවින් ඔහුට සාමාන්‍ය පෙළ සඳහා චිත්‍ර විෂය තෝරගන්නට සිදු වුණා. කෙසේවුවත් ගීත රචනයක් දුන් පමණින් එයට තනුවක් දමා එය පරිගණකයෙන් නිර්මාණය කරන්නට තරම් හැකියාවක් ලබාගන්න ඔහුට අවශ්‍ය වුණේ අවුරුද්දක පමණ ස්වයං අධ්‍යයන කාලයක් පමණ යි.

මේ වන විට ඔහුට ඔස්ටියෝ සාකෝමා නැමැති කලාතුරකින් ඇතවන රෝගය වැළඳී ඇති බව දැනගෙන මාස 6ක් පමණ වන්නට ඇත. පොතේ සඳහන්ව ඇති පරිදි වෛද්‍යවරුනට කකුල ඉවත් කිරීමේ සැත්කමකට යාමට පෙර බටහිර ධූලක ප්‍රතිකාර ලබා දිය යුතුව තිබුණා. පොතේ සඳහන්ව ඇති ආකාරයට ඒ කාලය තුළ පිළිකාව කුඩා වියයුතුව තිබුණත් ඒ කාලය තුළ රෝගය තවදුරටත් වර්ධනය වූවාමිස අඩුවූයේ නැත. ඒ බව දැන දැන වෛද්‍ය වරු ඔහුට ලබාදීමට නියම කරතිබූ දුම ප්‍රතිකාර වෙනස් නොකළේ ඇයිදැයි මට නොවැටහේ. කේසේ වුවත් ඔහුට දැන් කකුල ඉවත් කිරිමේන් පසුව නැවතත් එම රෝගය වැළඳීමේ හැකියාව 2% වත් නැති බව වෛද්‍ය වරයෙක් වරක් ප්‍රකාශ කර සිටියේ ය.

ශෛල්‍ය කර්මය සිදුකිරීමට නියමිත තිබුණේ රෝහල් ගතවූ දිනට පසු දිනටයි. එදින ද රෝහලට යාම මා මගහැරියේ ඔහු සෛල්‍යාගාරයට ගෙන යන දර්ශනය මට දැකීමට අවශ්‍ය නොවූ නිසයි. කෙසේවුවත් කුමන හෝ හේතුවක් සෛලකර්මය තව දවස් දෙකකට කල්දමා තිබුණේ ය. ඊළඟ දිනයේ ඔහු බැලීමට රෝහලට ගියත් ශෛල්‍ය කර්මය එදින කිරීමට වෛද්‍යවරුන් තෝරා ඇති බව දැනගත්තේ රෝහලට ගිය පසුවයි. මෙතෙක් භාවිතා කළ බස්තම වෙනුවට කිහිලිකරු දෙකක්ද එදිනම මිලදී ගත්තා. ඔහු ප්‍රතිකාර සඳහා නැවතී සිටයේ 54 වාට්ටුවේ වුණත් සෛලකර්මයෙන් පසුව ඔහුට 74 වාට්ටුවට යා යුතුව තිබුණු බැවින් ඔහුගේ සියලුම භාණ්ඩ අපි එකතු කර ඔහුව ට්‍රොළියට දමාගෙන අපි වාට්ටුවෙන් ශෛල්‍යාගාරයට යාමට පිටත්වුණා. වාට්ටුවෙන් එළියට යත්ම එහි සිටි හෙදියක් "මේ ඔයාලගේ සෙරෙප්පුවක් මෙතන දාල යනවා" කියා මොරදෙන්නට වූවාය.

18 comments:

චතුර.... said...

කතාවේ අන්තිම කියෙව්වම ඇත්තටම විස්තර කරන්න අමාරු හැඟීමක් ඇති වුනා..

Niluka Kadurugamuwa said...

ඉතා ප්‍රබල සංවේදී අවසානයක්.

ගයාන් තාරක said...

දසුන් සෑහෙන කාලෙකින්.
ස්තූතියි පරිගණක සංගීත නිර්මාණ තැටියට..

නෙරංජි | Neranji said...

ඒ යාලුවාට නිවන් සුවපතමු....මේක දැක්කම ගොඩක් දුක හිතුණා...

දසුන් සමීර වීරසිංහ said...

සටහනක් තැබූ සැමට ස්තූතියි!

deeps said...

එක පාරට ජීවිතේ වෙනස් වුනාම අපිට ඒක දැනෙන්නේ පොඩ්ඩක් කල් ගිහිල්ලා. කකුල නැතිනම් සෙරෙප්පුව ඕනේ නැහැ කියන එක හෙදියට මීටර් වුනේ නැත්තේ ඒක නිසා වෙන්න ඇති. මොනවා වුනත්, සංවේදී කතාවක්.

Anu said...

අන්තිම ටික අහලා මාර දුක හිතුනා බං. :(

නචියා said...

ගොඩක් සංවේදී කතාවක්. ලස්සනට ලියලා තියනවා යාළුවා.
අර හෙදිය කාරනේ හරියටම දන්නෙ නැතුව කෑ ගහන්න ඇත්තේ. හැබැයි සමහර හෙදියො ඉන්නවා මනුස්සකම ගෑවිලාවත් නැති.

දසුන් සමීර වීරසිංහ said...

හෙදිය වැරදීමකිනුයි එහෙම කිව්වේ. එහෙම කියල ඉවරවෙනවත් එක්කම වගේ එයාටම ඒක තේරුනා.

Gayan said...

ගනන් ගන්න එපා. මේක කියවන අයට දැනෙන තරම් දුකක් කකුල අහිමි වුන කෙනාට දැනෙන්නේ නෑ.

Indika Ranasinghe said...

Greatness comes not when things always go good for you.
But the greatness comes when you're really tested,
when you take some knocks, some disappointments, when sadness comes.

Because only if you've been in the deepest valley
you can know how magnificent it is to be on the highest mountain.
Its LIFE.....

K'-Designs said...

කොහොම හරි මල්ලිගේ ජීවිතය බේරුන එක ගැන හිතලා අපි සතුටු වෙමු...

upulpp said...

:|

සොඳුරු සිත said...

පිටු ගණන් ලියලත් හදවතට දැනෙන්නෙ නැති දේවල් , මේ පුංචි ලිපිය අතර සංවේදීව සඟවලා , එක වරටම අතහැරල දාලා... හරියට දාලා ගියපු සෙරෙප්පුව තරමට ......

තිස්ස දොඩන්ගොඩ said...

හපොයි දෙයියනේ දසුන් මල්ලී.....

හා පැටික්කි (MS) said...

‍සෙ‍රෙප්පුව..............

කුමක් කියන්නදැයි සිතා ගත ‍නොහැක. මල්ලිට ඉක්මන් සුවය පතමි.....!!!!!

දසුන් සමීර වීරසිංහ said...

2009 අප්‍රේල් 21වන දින ඔහු අප අතරින් සමුගත්තා. සටහනක් තැබූ සැමට ස්තූතියි!

Chatura Wijekoon said...

හ්ම්.. කණගාටුයි දසුන්.. මල්ලිට නිවන් සුව පතමි.. සංවේදී කතාවක්..